ගෝනියාව හඳුනාගැනීම
කෑම් බාරතී එතන සිටි ජ්යෙෂ්ඨ නිලදාරියා වුනත් ගවේෂ්ණය ගැන කතා කිරීම අයිතිවුනේ ‘චක්’ චක්රනාමටයි. නමුත් චක්ගෙ කතාවට ඉස්සර කෑම් මට පිළිගැනීමේ තෑග්ගක් පිරිනැමුවා.
“වැදගත් කර්තව්යකට පිට රටකින් ගෝනියාවට පැමිනි ඔබතුමා අපේම කෙනෙක් හැටියට සලකන්න අපි කැමතියි. ඔබතුමා අපෙ රටේ ඉන්න තුරු ඔබත් අපත් අතර වෙනසක් ඇතිනම් ඒවා අමතක කරන ලෙස ඉල්ලා සිටින්න මම කැමතියි, ගෝනියාව වෙනුවෙන්. එනිසා මම කැමතියි මේ ‘ගෝනි මල්ල’ ඔබතුමාට පිරිනමන්න. මේකේ අපිට තියෙන වටිනාකම උපාලිට පැහැදිලි කිරීම මම චක්ට බාර දෙනවා”
කෑම් පුටුවෙන් නැගිට්ටේ කඩදාසියෙන් එතූ ලොකු පොතක් වගේ පාර්සලයක් අතට ගනිමිනුයි. මමත් පුටුවෙන් නැගිට්ටේ ‘ගෝනි මල්ල’ මොන වගේ පොතක්දැයි සිතමිනුයි - මගෙ සිතට නැගුනේ සමහරවිට ගෝනියාවේ ඉතිහාසය එහි ලියවී ඇති කියලයි.
මම ‘බොහොම ස්තුතියි’ කියලා තෑග්ග පිලිගත් වහාම චක් කතාවට පටන්ගත්තා.
“ඇරලා බැලුවට කමක් නෑ උපාලී… ඔයා හිතන්න ඇති දැන් ලැබුනේ ඉතිහාස පොතක් කියලා … බොහොම පිටරැටියෝ - විශේෂයෙන්ම මේ රට ගැන ඉගෙනගන්න එන්නෝ - හිතන්නේ එහෙමයි. නමුත් උපාලිට අපි දුන්නේ ඇත්තටම මල්ලක් - මෙන්න මේ වගේ”
මෙහෙම කියලා චක් මේසේ යටින් මල්ලක් එලියට ගත්තා. ඒක ටැබ්ලට් හෝ පොඩි ලැප්ටොප් කොම්පුටර් එකක් දාන තරම් ලොකු කලු හමකින් සෑදූ කොපුවක් වගේ පෙනුනේ. කෑමුත් එයාගෙ ‘ගෝනි මල්ල’ මේසේ යටින් එලියට ගත්තා. චක්ගේ මල්ලට වඩා තරමක් කුඩාවුනත් ඒ මල්ල ගනකමෙන් වැඩියි - සාදා තිබුනේ රතු කොටු කොටු රෙද්දකින්.
මම මගේ තෑග්ග ඇරලා බැළුවා - මගේ ගෝනි මල්ල චක්ගේ මල්ල වගේ, නමුත් කොලපාට හමකිනුයි සදා තිබුනේ. මම චක් දිහා බැලුවේ යම්කිසි ප්රශ්නයකට උත්තර බලාපොරොත්තු වෙන්නෙක් වගේ. චක් වහාම කතාව පටන්ගත්තා.
“මම දන්නවා ලංකාවේ ‘ගෝනිය’ කියන වචනේ පාවිච්චි වෙන්නේ රළු කෙඳි වලින් වියූ බඩු අදින්න පාවිච්චිවෙන ලොකු මල්ලකට කියලා. සිංහල භාශාවට මේ වචනේ අපෙන් ලැබුන එකක් වෙන්න ඇති කියලා බොහෝ අය කියනවා - කාලයාගේ ඇවෑමෙන් වචනේ තේරුම ටිකක් වෙනස් වෙලා තිබුනට. අපි ‘ගෝනිය’ කියන වචනේ පාවිච්චි කරන්නේ මේ රටේ උපන් ඕනෑම කෙනෙකුට ලැබෙන ජන්ම දායාදයකට. මේ දායාදයට සංකේතයක් වශයෙන් අපි ‘ගෝනියක්’ – ඒ කියන්නේ හැඩ දැමූ කුඩා මල්ලක් - පාවිච්චි කරනවා”
චක් මා දිහා කෙලින්ම බලාගෙන විනාඩියක් විතර කතා නොකර හිටියා.
“උපාලී වගේ සමාජ විද්යාවට ලැදියන්ට මේවා තේරුම්ගන්න පුළුවන්, ලෝකේ අනික් බොහෝ දෙනෙකුට බැරිවුනාට. ‘ගෝනිය’ හෝ ‘ගෝනි මල්ල’ කියන සංස්කෘතික පරිචාරය අනුවයි අපේ රට ‘ගෝනියාව’ යන නම ලැබුවේ. කොතරම් පිටරැටියන්ගෙ ආක්රමණ වලින් පෝෂනය වුනත්, අවුරුදු සියගනනක් යටත් විජිතයක් හැටියට තිබුනත් අපේ ‘ගෝනි’ සංස්කෘතිය දිගටම පැවතුනා - තවමත් ශක්තිමත්ව පැවතෙනවා. අපි අනික් යටත් විජිතයන් වගේ සංස්කෘතියයි සභ්යත්වයයි දියාරු කරගත්තෙ නෑ”
“උපාලිගෙ ගවේෂණ වලදී මේ ‘ගෝනි’ කියන සංස්කෘතික පදනම අමතක කරන්න එපා - වටිනා නිගමන ලබන්න නම්”
මම චක්ගෙ කතාව සම්පූර්ණෙන්ම ඉවර වෙනතුරු බාධා නොකරන්න තීරනේ කරලයි හිටියේ. නමුත් එක ප්රශ්නයක් අහන්න හිතුනා, මගේ වැටහීම තහවුරු කරගන්න.
“සමාවෙන්න මෝඩ ප්රශ්නයක් නම්…. සංකේතයක් වශයෙන් පාවිච්චි වෙන ඔය මල්ල ඇතුලේ මොනවත් දානවද - සාමාන්ය මල්ලක වගේ?”
මගෙ ප්රශ්නෙට චක් වත් කෑම් වත් හිනාවුනේ නෑ. ඒ වෙනුවට දෙන්නම පෙන්වූයේ සතුටු මුහුනු. පලවෙනියට කතාකලේ කෑම්.
“ මට දැනෙනවා අපෙ ලාංකික සගයෝ එවලා තියෙන්නේ හරි මිනිහා කියලා. ඔය වගේ කෙලින් ප්රශ්න නොඅසා ඇත්ත නැත්ත සොයාගන්න බෑ. මට මතකයි මේ විශ්වවිද්යාලේ වැඩ කරන්න ආ පිටරැටියෝ කීපදෙනෙකුට අවුරුද්දක් ගියා ගෝනියේ ඇත්ත වටිනාකම දැනගන්න - කෙලින් ප්රශ්න අහන්න අකැමතිවුන නිසා! චක් මේ ප්රශ්නෙට උත්තර දෙයි”
“අපි ගෝනියේ ඉතිහාසය බැලුවොත්; ඒ කියන්නේ යටත් විජිතයක් වෙන්න බොහොම ඉස්සර කාලේ පටන් ඉතිහාසය බැලුවොත්, ගෝනිය පටන් ගත්තේ සාමාන්ය මල්ලක් වගෙයි ….. නමුත් භෞතික මල්ලට වැඩිය සංකේතවත් වටිනාකමක් ඒකේ තිබුනා….”
“… ගෝනියාවේ ඉපදෙන සෑම දරුවටම ‘ගෝනියක්’ ලැබුනා, ලඟ නෑදෑයන්ගෙන් …. ගෝනියෙන් සංකේතවත් වුනේ ගබඩාවක් - දරුවා තම ජීවිත කාලයේ ලබාගන්නා සුදුසුකම්, හැකියාවන්, නිපුනතාවයන් එක් රැස් කොට සුරක්ශිතව රැක ගැනීමට සහයක්. ….. නෑදෑයෝ එකතුවෙලා හවුලේ දෙන තෑග්ගක් නිසා එක ළමයට ලැබෙන්නේ එක ගෝනියයි - දෙමව්පියෝ නෑදෑයොත් එක්ක එකතුවෙලා මේක ප්රදානයකළේ දරුවා අවුරුද්ද පිරෙන්න ඉස්සර …. සාමාන්යෙන් පොඩි උත්සවයකුත් පවත්වලයි... අපේ රටේ අවුරුද්දෙන් අවුරුද්දට පවත්වන උපන්දින උත්සව වලට වැඩිය ‘ගෝනි ප්ර්දානෝත්සවය’ වැදගත් තැනක් ගත්තා ගෝනියාවේ දරුවෙකුගෙ ජීවිතේ….. ”
චක් දිග හුස්මක් ගත්තා කතාවේ ඊලඟ කොටස පටන්ගන්න ඉස්සර.
“පොඩිකාලේ දෙමව්පියෝ මල්ල ආරක්ශා කිරීමේ වගකීම භාර ගත්තත් ටිකින් ටික ඒකේ ආරක්ශාව ළමයටම භාර වෙනවා. වයස 18දී මල්ල සම්පූර්නයෙන්ම අයිතිකාරයට භාර වෙනවා. නමුත් පාසැල් කාලේ පටන් ක්රමයෙන් මල්ල ආරක්ශා කරගැනීමට පුරුදු කිරීම දෙමව්පියන්ට අයිති යුතුකමක්…. මේ ටික තේරුම් ගත්තැන් පස්සේ තමා මල්ල ඇතුලට දාන දේ ගැන හිතන්න ඕනෑ”
“මම ඉස්සරවෙලත් කිව්වා කෙනෙකුගේ සුදුසුකම්, හැකියාවන්, නිපුනතාවයන් මල්ලට එකතුකරනවා කියලා. දරුවෙක් වයස අටෙන් පහල මීටර් පනහේ තරඟයක දෙවෙනි තැන ගත්තත්, කලකදී වඩුවැඩ හොඳින් පුහුනුවුනත්, උසස් උපාදියක් ලැබුවත්, අවුරුද්දක් හිරබත් කෑවත්, පත්තරයක කෙටිකතාවක් පලකලත්…. මේ සියලු දෙයක්ම මල්ලට එකතු කරනවා. එකම නීතිය …. මල්ලට ඇතුල් කල දෙයක් ආයෙ එලියට ගන්න බෑ! මල්ල කෙනෙකුගේ ජීවිතයේ ඉතිහාසය - වැදගත් සෑම දෙයක්ම අඩංගු”
මටආයෙත් ප්රශ්නයක් අහන්න හිතුනා.
“මේ ඉතිහාසය ලිඛිත සටහන් හැටියටද තියෙන්නේ?”
කෑම් චක් දිහා බලලා හිනාවුනා. දෙන්නම ඒ අයගේ ගෝනි මේසේ උඩ තියලා දිගහැරියා. පොඩි කාඩ් කීපයක්, පොතක්, පෑන් පැන්සල් විතරයි පෙනෙන්න තිබුනේ.
“ළමයි පොඩිකාලේ ලිඛිත සටහන් එකතු කරනවා - මතක ආධාරකයක් හැටියට. නමුත් වයස යනකොට ඒ අවශ්යතාවය අඩු වෙනවා…. මට කියන්න පුළුවන් මගේ ජීවිතේ වැදගත් සිදුවීම් ඕනෑ එකක් - මතකෙන්. මම වයස දහයෙදි විතර පරන රේස් දුවලා ලැබුන සහතික අයින් කරා….”
“නමුත් චක් කිව්වේ ගෝනියට ඇතුල් කල දෙයක් ආයෙ එලියට ගන්න බෑ කියලා!”
ඒ සැරේ කතාකලේ කෑම්.
“අන්න උපාලිට තේරෙනවා ‘ගෝනිය’ කියන්නේ මොකද්ද කියලා! භෞතික මල්ලෙත් මානසික මල්ලෙත් එකතුවයි ‘ගෝනිය’! – මම කැමතියි ඔබට සුභපතන්න ඉක්මනට මේ තැනට ආවට. මට හොඳටම විශ්වාසයි උපාලී ගෝනියාවටත් මුළු ලෝකෙටත් වටිනා වැඩ කොටසක් සම්පූර්ණ කරයි කියලා ඔබට ලැබී තියෙන කාලෙදී”
“ස්තුතියි…. මේ මගෙ පලවෙනි දවස ගෝනියාවේ. අද නම් මගෙ ශුභාශුභය හොඳින් වැඩ කරනවා වගේ! පස්සේ කොහොම වෙයිද දන්නෙ නෑ!”
“අපිට සමාවෙන්න උපාලී …. මට අමතක වුනා උපාලිට ගමන් මහංසි ඇති කියලා. හෙට චක් එක්ක වැඩ පිලිවෙලක් සැලසුම් කරගන්න පුළුවන්… තව මගෙන් මොනවත් වෙන්න ඕනද?”
මම දෙන්නටම ස්තූතිකලේ තවත් ප්රශ්නයක් අසමිනුයි.
“හෙට හමුවුනාම මට කියනවද ගෝනියට ඇතුල් කරන්න වටින දේ හඳුනා ගන්නේ මොන නිර්දේශ අනුවද කියලා?”
………………….
ගමනේ මහංසිය නිසා වෙන්න ඇති මට උදේ හත වෙනතුරු නින්ද ගියේ. ඇහැරුනෙත් උදේ කෑමට භෝජන ශාලවේ වදින සීනුවෙනුයි. මුහුන කට සෝදාගෙන වැඩට යන්න සුදුසු ඇඳුමෙන් සැරසිලා භෝජනශාලාවට එන්න විනාඩි තිහක් ගියා. ශිෂ්යයෝ බොහොමයක් ඒ වෙනවිට දේශන වලට යන්න පිටත්වෙලා නිසා මට දිග කෑම මේසෙක නිදහස් කොනක් ලැබුනා.
ගෝනියා කෑම මේසෙක හරි හැසිරීම නොදත් නිසා මම වට පිට බැලුවා, අනික් අය කරන්නේ මොකද්ද කියලා බලන්න. මා වාඩිවූ මේසේ තව කෙනෙකුට මගේ අපහසුව තේරුනා.
“තේද කෝපිද කැමති?”
ඒ ශිෂ්යයා සිනාමුසු මුහුනින් මගෙන් ඇහුවේ කෝප්ප දෙකක් එක අතකින් උස්සාගෙනයි.
“තේ නම් හොඳයි”
කෑම කාමරේ මම පෙර නොදුටූ කොනක මේසයක් උඩ තිබුන පෝච්චියකින් තේ කෝප්ප දෙකක් ගෙන ආ ඔහු මට කිට්ටුවෙන් වාඩිවුනේ ‘ගුඩ් මෝනිං, මම රාහිත්’ කියාගෙනයි. ඒ ලෙසයි මගෙ අනාගත ගෝනියා මිත්රයන්ගෙන් පලවෙනියා මුනගැසුනේ.
මගේ ගවේෂණ වලට රාහිත් වගේම ඔහුගේ මිතුරු මිතුරියෝ කොයි තරම් වැදගත් වෙනවද කියලා ඒ වෙලාවේ මට කිසිම අදහසක් තිබුනෙ නෑ. මගෙ හිතට වැටුනේ දේශපාලනය හදාරන මේ ජ්යෙෂ්ඨ ශිෂ්යයාගෙන් මගේ උදේ කෑම පහසුවුන බව පමනයි.
හරියට නමයට මම චක්රනාම ගෙ කාමරේ දොරට තට්ටු කරා.
“ගුඩ් මොනිං උපාලී - හොඳට නින්ද ගියාද?”
“මෝනිං චක් - හොඳට නින්ද ගියා. නමුත් නිදාගන්නකොට දොලහ පහුවෙලා - ඊයේ කතාකරගත්ත දේ සටහන් කරගෙන ඉවර කරලා”
“හඃ - උපාලිත් මගෙ ජාතියේ වගේ - රෑට වැඩ, දවල්ට නිදි! උපාලිගෙ වැඩ වලට අපෙ විශ්වවිද්යාලෙන් වෙලාවක් නියම කරලා නෑ. මෙහෙ පර්යේෂණ ක්ෂේත්රයේ වැඩකරන අයට ආරම්භක - නිමා වෙලාවල් නෑ. ලංකාවෙත් එහෙම ඇති නේද?”
මට ‘ඔවු’ කියන්න කොයි තරම් හිතුනත් ඒක බොරුවක් බව දැන දැනත් එහෙම කියන්න බෑ.
“නෑ චක් - මට කියන්න කනගාටුයි ලංකාවේ බොහොම අය ඔර්ලෝසුව දිහා බලාගෙනයි වැඩ. දැන් ටික ටික ඒක වෙනස්වේගන ආවත් තවමත් ආංඩුවෙත් විශ්වවිද්යාලවලත් වෙලාවට තමා වැඩ”
චක්ගෙ මුහුනෙන් පෙනෙනවා එයා මේ බව දැනගෙන හිටියා කියලා. මට හිතුනේ ඒ උත්තරෙන් මම පොඩි විභාගෙකින් පාස්වුනා කියලා.
“උපාලිගෙ ප්රශ්නේ ගැන මම ඊයෙ රෑ ටිකක් හිතලා බැලුවා … ගෝනියාවේ පුරවැසියෙක් තමාගේ ගෝනියට ඇතුලත් කරන්නේ මොන වගේ දේද කියලා…. මේකට උත්තර දෙන්න ඉස්සර අපි හිතලා බලන්න ඕනෑ අපි ‘මතකය’ කියන්නේ මොකද්ද කියලා. ගෝනිය මතකට ආධාරකයක් නම් ‘මතකය’ වැඩ කරන හැටි නොදැන ගෝනිය තේරුම් ගන්න අමාරුයි….. මම දන්නවා මේක උපාලිගෙ ක්ශේත්රය නෙවෙයි කියලා… නමුත් කෙටියෙන් කිව්වොත් වෙන්නේ මේකයි”
“යමක් මතකයට ඇතුල්වෙන්න අපි මොලේට සංඥාවක් යවන්න ඕන. අපේ සංවේද ඉන්ද්රියන් ඕන එකකට මේවා යවන්න පුළුවන්. අපි දකින, අහන, රස හෝ සුවඳ බලන හැම වෙලාවෙම මොලේට පනිවිඩ යවනවා. නියුරෝන සම්පර්කන හරහා තමා මේ සංඥා යවන්නේ. මේවගෙ විද්යාව මොක උනත්, ‘ලෝංග් ටර්ම් පොටෙන්ශියේශන් (එල්. පී. ටී.)’ අනුව සම්පර්කන හිඩැස් වැඩි ගනනක් හරහා එන සංඥා මතකයේ හොඳින් රැඳෙනවා, අනික් සංඥා වලට වැඩිය”
චක් පොඩි හිනාවකින් මුහුනට එලියක් ගෙනාවා.
“:සමාවෙන්න - විද්යා දේශනය ඉවරයි! අපේ මුතුන්මිත්තෝ ගෝනියෙන් කරේ මොලේට එන සංඥා වර්දනය කිරීමක් පමනයි. මතක තියාගන්න ඔන දෙයක් ගෝනියක දමා එය මොලයට කාවදින්න සැලැස්සුවා….. මතකද මම ඊයේ කිව්වා මට තවම මතකයි මම පොඩිකාලේ දුවපු රේස් වල ප්රතිපල කියලා - දැන් ඒවා ගෝනියේ නොතිබුනත්? ඒක ඇත්ත. ඒ වගේම මට මතකයි ඒ සහතික පත්ර ගෝනියට දැමූ දවසත්, එදා දවසේ කාලගුනයත්, සහතිකය ගෝනියෙන් එලියට ගත්ත දවසත්, එදා උදේට කෑ දේත්… මේ සේරම මට මතක ලඟ තියෙන ගෝනිය නිසා මතකය නිතරම පෝෂණය වූ නිසා…. නමුත් මේකේ වැදගත්ම ප්රතිපලය මේකයි - මගේ මොලේ ඉඩ අඩු වෙලා නෑ, මේ මතක ගබඩා කිරීම නිසා. පරම්පරා ගනනක් ගෝනි පාවිච්චියෙන් අපෙ මොලේ අළුත් කොටස් විවෘත වෙලා තියෙනවා. ගෝනියට දාපු දෙයක් සටහන් වෙන්නේ වෙනදා පාවිච්චි නොවුන මොලේ වෙනම අවකාශයක කියලා තමා උගතුන් කියන්නේ…. මං කියන්නෙ නෑ අපෙ මුතුන් මිත්තෝ එල්. ටී. පී ගැන දැනගෙන හිටියා කියලා මේ චාරිත්රය පටන් ගන්න - මම ඒ තරම් ස්වදේශාභිමානයෙන් අන්ධ වෙලා නෑ! මොන හේතුවක් නිසා මේ සම්ප්රදාය පටන්ගත්තත් මට කියන්න තියෙන්නේ එකයි - ගෝනියානුවන්ගේ මතක ඉතා හොඳයි - මොලේ ගබඩා කරන්න හැකි ඉඩත් වැඩියි. මං හිතන්නේ යටත් විජිතයක් හැටියට කොයි තරම් කාලයක් හිටියත් අපේ සංස්කෘතිය දිගටම පැවතෙන්නෙත් ඒ නිසයි”
චක් කන්දක් නැගලා මහන්සිවූවෙක් වගේ දිග හුස්මක් ගත්තා.
“දැන් උපාලිගෙ ප්රශ්නේ - උපාලී ඇහුවේ ගෝනියට ඇතුලත් කරන්න වටිනා දේ මොනවද කියලා; ඇතුලත් කරන්නේ මොනවද කියලා නෙවෙයි ඇහුවේ. මේ දෙක වෙනස් - හරියට උපදෙස් දීමයි ඒවා පිලිපැදීමයි අතරේ තියෙන වෙනස වගේ. අපේ දෙමව්පියෝ, ගුරුවරු, බුද්ධිමතුන් වෙන එකක් තියා සමහර දේශපාලකයොත් අපිට නිතරම කියනවා ගෝනියට ඇතුලත් කරන්න වටිනා දේ මොනවද කියලා - ඉගෙනීම, චරිතය, ශරීර සෞක්ය,හැසිරීම වගේ දේ තමා එතන තියෙන්නේ. ඒක පුදුමයක් නෙවෙයි. අපි ඒ වගේ දේ ගෝනියට ඇතුල් කළොත් සමාජයම දියුනු වෙනවා කියලා හිතන්න පුළුවන්… ඒ … ඒ වගේ දේ පමනක් ඇතුල් කළොත්! නමුත් අපි සමහරු ගෝනියේ සුරක්ෂිත කරලා තියන්නේ මොනවද?... බැංකුවේ කොච්චර සල්ලි තියෙනවද, බලගතු නෑදෑයන්ගෙ තොරතුරු, කැමති නළුනිළි තොරතුරු…. තේරෙනවා නේද මං කියන එක….?”
“ගෝනියේ දැම්මොත් මේවා තවත් සැර වැඩි වෙනවා නේද? ඒ කියන්නේ, එහෙම ස්වභාවයන් උත්සන්න වෙනවා නේද?”
“හරියටම හරි - තමාගෙ කුහකකම් ගෝනියට දාන මිනිහා ගෝනියක් නැති කෙනෙකුට වඩා කුහකයි!”
මට පොඩි සන්තෝසයක් දැනුනා ලංකාවේ ‘ගෝනි’ සංස්කෘතිය නැතිවීම ගැන.
“ඒ විදිහට බලනකොට ලංකාවේ ගෝනි සංස්කෘතියක් නැති එක හොඳයි කියලා මට හිතෙනවා!”
චක් මා දිහා බැළුවේ අමුතු විදිහකට.
“ඔවු ඉතින් තමාගේ මොලේ ධාරිතාව අඩු කරලා, වැදගත් දේ අමතක කරගන්න කැමති නම්….”
මගේ වචනෙට එයාගෙන් ලැබුන ප්රතිචාරය මට තදටම වැදුනා - මගේ හිතට එන අදහස් ආවට ගියාට එලියට නොදා හිත ඇතුලේ සුරක්ශිතව තියාගන්න මම තීරනේ ගත්තේ ඒ වෙලාවේ. ලංකාවත් ගෝනියාවත් ප්රසිද්දියේ සංසන්දනය කිරීමේ ආදිනව මෙන්ම එයින් ආගන්තුක සත්කාර කරන්නන්ට නින්දා කිරීමක් සිදුවිය හැකි බව මට ඒ වෙලාවේ හොඳින් වැටහුනා.
මම චක් සමග කතා කරමින් උදේ වරුවම ගෙව්වා. උදේ එකොලහට කෝපි කෝප්පයක් බොන්න විතරයි කතාව නැවතුනේ. අපේ සාකච්චා වලින් අපි දෙදෙනාටම පැහැදිලි වුනේ ගෝනියාවේ සංස්කෘතිය හැදෑරීම දවසකින් දෙකකින් කළ නොහැකි බවයි..
“උපාලී මෙහෙ ඇවිල්ලා තවම පැය විසි හතරක් වත් නෑ. පහුගිය පැය තුනේ ඕනෑවට වැඩිය අදහස් ඉදිරිපත් කිරීමේ වැරැද්ද මම බාර ගන්නවා….. මම බොහොම ආශාවෙන් හිටියේ ලාංකිකයෙක් එක්ක වැඩ කරන්න - ඒ අශාවයි, මගේ ක්ශේත්රයට තියෙන ගැතිකමයි නිසා මට අමතකවුනා මගෙන් වෙන්න තියෙන සේවය…. මට සමාවෙන්න… “
“එහෙම කියන්න එපා චක් - මම අද උදේ ගෝනියාව ගැන ඉගෙන ගත්තා මීට ඉස්සර මගෙ මුළු ජීවිතේම ඉගෙන ගත්තට වැඩිය. මම ඉගෙනගත්ත එක දෙයක් තමා බාහිර බලපෑම් වලට යටත් නොවී ඇත්ත අති හැටියට දකින්න උත්සාහ කරන්න. ඒ නිසා මම කැමතියි සම්පූර්ණ ගවේෂණ සැලසුමක් හදන්න එක එක මාතෘකා වෙන වෙනම හදාරන්න ඉස්සර”
“ඒක හොඳ අදහසක්! …. නමුත් මම කැමතියි උපාලී ඉස්සරවෙලාම සතියක් දෙකක් ගන්නවානම් ටිකක් එහෙ මෙහෙ ඇවිදලා, අපෙ රටට හුරුපුරුදු වෙන්න. සමහරවිට කෝපි කඩේක මුදලාලී කෙනෙකුගෙන්, එලවළු කඩේකින්, ටැක්සි ඩ්රයිවර් කෙනෙකුගෙන් මගෙන් ලැබෙනවට වඩා වටිනා ප්රතිවේධයක් ලැබෙයි!”
………………
මට උදේ කෑමට උදව් කළ රාහිත් රෑ කෑම වෙලාවෙත් මට මුන ගැහුනා. භෝජන ශාලාවට ඇතුල්වෙන දොරටුව ලඟ ඉඳන් මම එක එක මේස සෝදිස්සි කරමින් ඉන්න වෙලාවෙයි රාහිත් මට කතාකළේ.
“හේ… උපාලී!”
රාහිත් මට හඬගැසුවේ උදේ වාඩිවුන මේසේ ඉඳමුයි.
“හලෝ රාහිත්… මටත් මේසේ ඉඩ තියෙනවද?”
“මොකද නැත්තේ?”
මේසේ වටේ හිටි අනික් අය එහාට මෙහාට තල්ලු කරලා මට වාඩිවෙන්න තැනක් සදා දීලයි මිනිහා මට එතන හිටි අනික් අය හඳුන්වා දුන්නේ.
“ඔයි! සද්ද වැඩී!... මේ ගෝනියාව ගැන ඉගෙන ගන්න ලංකාවෙන් ආපු කෙනෙක් - නම උපාලී. උඹලා මහත්තුරු වගේ හැසිරිලා අපෙ අමුත්තට තම තමා හඳුන්වා දුන්නොත්?”
මේ ජ්යෙෂ්ඨ ශිෂ්යයන්ගේ මේසයක් බව හැඳින්වීම වලින් තේරුනා. සියලු දෙනා මට වඩා අවුරුදු දහ පහලවකින් බාල උනත් ඔවුන් මට සැලකුවේ සම වයසේ කෙනෙක් ලෙසයි. එක එක නම් මගේ මතකේ නොරැඳුනත් (ඒක ගැන චක් මොනවා කියයිද?) අධ්යයන ක්ෂේත්ර කිහිපයක අය එතන හිටි බව මගෙ හිතේ ඇඳුනා. මගේ ගවේෂණයට මේ අයගේ විවිධ අදහස් වැදගත් වෙන බව මට හොඳටම විශ්වාසයි.
“කොහොමද ගෝනියාවේ පලවෙනි දවස? දවසෙන්ම රට එපා වුනාද?”
රාහිත් මෙහෙම ඇහුවේ සිනා මුහිනින්. ප්රශ්නෙට උත්තරයක් වහාම ආවේ මේසේ අනික් කොනෙන්.
“මොකද්ද බං ඔය කතාව? ගෝනියාව ගැන ඔහොම කියනවද රට ගැන ඉගෙනගන්න ආපු පිටරැටියෙකුට? චික්! …. මම නම් කියන්නේ අඩුගානේ දවස් තුනක්වත් ඕනෑ රට එපා වෙන්න!”
“නෑ … නෑ… සතියක්වත් ඕන - එතකොට සති අංතයේ බීර එහෙම බීලා ඉවරවෙලා රට එපා වෙන්න පුළුවන්!”
“අඩේ මට පුළුවන් ඊට වඩා ඉක්මනට; ටවුමේ බාර් ඇරලා තියෙනවා සතියේ දවස්වලත්!”
මේසේ වටෙන් එක එක දේ කියවුනේ කූරියා ගහන සරුංගලයක් වගේ කිසි මෙහෙයුමක් නැතුව. මා ලඟම වාඩිවී සිටි සුනිල් සන්සුන් කතාවක් පටන්ගත්තේ අනික් අයගේ මාතෘකා නොතකායි.
“මොන වගේ ප්රොජෙක්ට් එකක්ද?”
සුනිල්ගේ ගේ ප්රශ්නයයි රාහිත් සහ සගයන්ගේ විහිළු කතාවයි නිසා මට මගේ ගවේෂණය ගැන අදහස් කීපයක්ම ඉදිරියට ආවා. ඒ වගේම චක්ගේ අංතිම අවවාදය ගැන සුනිල්ගෙන් අදහස් විමසන්න හිතුනා.
“කෙටියෙන් කිව්වොත් ගෝනියාව ගැන දළ විශ්ලේෂණයක්. මං දන්නවා ඒ වගේ දෙයක් විස්තර සහිතව කරන්න අවුරුදු ගානයි යනවා. මගෙ පළමු අරමුණ ඒ වගේ දීර්ඝකාලීන අධ්යයනයක් සාර්ථකව කළහැකිද කියන එක - ඊට පස්සේ මොනවා වෙනවද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ මට ලැබෙන ප්රතිපල අනුවයි”
“ඔය පළමු අදියරට කොයි තරම් කාලයක් වෙන් කරලා තියෙනවද?”
“මාස හයක්…”
සුනිල් ටිකක් කල්පනා කලා.
“ඒමාස හය ඇතුලත රට පුරා එහෙ මෙහෙ යනවද, නැත්නම් පුස්තකාලේ ඉඳන් වැඩ කරන්න අදහස?”
“හොඳ ප්රශ්නේ! මට දැනට ලැබිලා තියෙන උපදෙස් … අනුබල කිරීම …. අනුව මම සතියක් දෙකක් රටේ එහෙ මෙහෙ යනවා රටට හුරුපුරුදු වෙන්න. ඊට පස්සේ තීරණේ කරනවා කොහොමද වැඩේ කරන්නේ කියලා…. රටේ එහෙ මෙහෙ යන්න හොඳම ක්රමය මම සුනිල් වගේ අයගෙන් තමා අහලා දැනගන්න වෙන්නේ!”
සුනිල් හිනාවුනා.
“අහන්න හොඳම මිනිහා රාහිත් - එයා තමා මෙතන ඉන්න ලොකුම අහිකුංටිකයා!”
“කවුද මට අහිකුංටිකයා කියන්නේ? … හ්ම්? …. අහිකුංටික තුමා නොකියා?”
මම කෑමෙන් පස්සේ රාහිත් එක්ක ලඟම ටවුමේ කෝපි කඩේකට ගියා මේවා ගැන විස්තර කතාකරගන්න. පැයකින් මගෙ ගමන් ප්රශ්න බොහොමේකට උත්තර ලැබුනා.
රාහිත් වගේ අහිකුංටික යාළුවෙක් මට මහනුවරත් හිටියා, රන්ජිත් කියලා. මිනිහා උදේ ගෙදරින් පිටත් වෙනකොට පවුලට කියන්නේ ‘මම ටවුම පැත්තේ යනවා’ කියලා විතරයි. මෙහෙම පිටත්වුනාම ආපහු ගෙදර එන්නේ පැය බාගෙකින් වෙන්නත් පුළුවන්; පැය දහයකින් වෙන්නත් පුළුවන්. නුවර ටවුමට ගිය වෙලාවක නුවරඑලිය බස් එකක් දැක්කොත් ඒකේ නැගලා යෑම වැඩිය හිතන්න අවශ්ය දෙයක් නෙවෙයි. නුවරඑලි ගිහින් ටවුමේ එහෙ මෙහෙ ඇවිදලා හවස ගෙදර ඇවිත් කියන්නේ ‘නුවරඑලි ගියා!’ කියලා විතරයි. රුවන්ගෙ පවුලට මේවා පුරුදුයි. රැයක් හෝ දෙකක් පිට නවතින අදහසක් ඇතිව පිටත් වෙනවානම් රුවන් පොඩි මල්ලකුත් එල්ලගෙන ‘මම පුත්තලමේ ගිහින් එන්න කියලා’ පවුලට කියා පිටත් වෙන්නේ. රුවන්ගේ මේ අහිකුංටික හැසිරීම් මට නුහුරු උනත් මම හොඳටම දන්නවා ඒ දෙන්නයි වැඩිහිටි දරුවොයි බොහොම සාමයෙන් සන්තෝසෙන් ඉන්න පවුලක් කියලා.
රාහිත්ගේ කතාවත් රන්ජිත්ගෙ අච්චුවේ.
“බස් තමා හොඳම - ලාබයි, ඕන තැනක යනවා නිතරම වගේ, ආයෙ වයිවාර්න මිනිස්සු මුනගැහෙනවා. රට දැකබලාගන්න එකම ක්රමය. අරගෙන යන්නේ පොඩි මල්ලක් - බැක්පැක් එකක් වගේ - විතරයි. එක කොට කලිසමක් ඇති සතියකට, රෑට සෝදලා වේලෙන කමිස, යට ඇඳුම් දෙකයි, සරමයි, දත් මදින්න ඕනදේ … ආයෙ ටෙලිෆෝන් එක. කැමරා එපා - කැමරාවෙන් පින්තූර ගන්නකොට ඇහෙන් බලන්න අමතක වෙනවා. පොත් එපා - කවුරුත් ලියපුදේ නොකියවා වටේ තියෙන දේ තමාම බලාගන්න එක වටිනවා. ඒ ඇති. නවතින්න තැනක් සොයාගන්නේ බස් එකෙන් බැහැලා - ඕන තේ කඩේකින් අහන්න රැයක් නිදාගන්න තැනක්. නවතින, කෑම ගන්න තැන් වල සැප පහසු ගැන වැඩිය බලන්න එපා - හොඳටම නරකනම් පැය කීපෙකින් ආයෙත් ගෙදර එන එක අමාරු නැති නිසා”
මෙයා කියන විදිහට වැඩේ බොහොම ලේසියි. මේ වගේ සැලැස්මකට චක් මොනවා කියයිද කියලා මට හිතුනා.